Tuesday, February 18, 2020

අත්හැරීම

ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීනවලට ලං වෙද්දී අපි ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඒ හීනෙට යන අතරමගදී වෙනස් කරන්නම බැරි හේතුවක් නිසා හීන හැබෑ කරගන්න බැරි වුනොත් අපිට ලොකූ දුකක් දැනෙනවා. 

හැබැයි අමාරුවෙන් හරි තමන් කැමති දෙයක් අත්හැරලා දාලා බලන්න. පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. 

ඉතින් එහෙනම් මේ ජීවිතේ දී බුදුහාමුදුරුවෝ වගේ හැමදේම අත්හැරියොත් කොහොම සැහැල්ලුවක් දැනෙයිද?... අනික හරිම අමාරුවෙන් මේ හැමදේම අල්ලගෙන ඉන්න එකේ තේරුම තියෙනවද? ......

Friday, October 4, 2019

මෙහෙයවීම

මෙහෙයවීම කියන වචනේ අප හැමෝම අහලා තියෙන වචනයක්නේ. සරලව කිව්වොත් මෙහෙයවීම කියන්නේ කෙනෙක් තවත් අයෙක්ව හෝ වෙනත් දෙයක් පාලනය කිරීමට.

ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ මිනිසා විසින් තමන්වම මෙහෙයවීම ගැන.

මුලින්ම හිතලා බලන්න පොඩි දරුවෙක්ට පුලුවන්ද තමන්ට අවශ්‍ය දේවල් තනියම කරගන්න. බැහැ නේද? මොකද ඒ දරුවා කායිකව හෝ මානසිකව තමන්ව පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා නැහැ. ඒ නිසා ඒ දරුවාව මෙහෙයවන්නේ දෙමව්පියන් විසින්.

එහෙම වුනත් යම් අවස්ථාවක දී ඒ දරුවා කායිකව වගේම මානසිකව තමන්ට තමන්ව මෙහෙයවන්න පුළුවන් කාලයකට එනවා. ඊට පස්සේ  තමන්ගේ අරමුණු ඔස්සේ තමන්ව මෙහෙයවනවා. නිදසුනක් විදියට දේශපාලනය පැත්තට යන්න අවශ්‍ය කෙනෙක් කායිකව වගේම මානසිකවත් තමන්ව ඒ අරමුණට පූර්ණ වශයෙන් මෙහෙයවනවා. ඒ වගේම මෙහෙයවීමේ ප්‍රධානියා වෙන්නේ මිනිසාගේ මනස. ඒ නිසානේ මිනිසා අනිත් සත්වයින්ගෙන් වෙනස් වෙන්නේ.

ඉතින් මේ වගේ මිනිස්සු මුදල්, අධ්‍යාපනය,තත්ත්වය වගේ භෞතික දේවල්වලට තමන්ව මෙහෙයවනවා. ඒත් මිනිසා අද වෙද්දි ගොඩක් භෞතිකව දියුණු වෙලා.

ඉතින් මේකෙම අනිත් පැත්ත හිතුවොත්.  මිනිස්සු අධ්‍යාත්මික පැත්තෙන් තමන්ව දියුණු කරන්න අරමුණ කරගෙන මනස  දියුණු කරන්න තමන්ව මෙහෙයවන්න පටන් ගත්තොත්. මිනිස්සු කියන්නේ තමන්ට අවශ්‍ය දේවල් කොහොමහරි ලබාගන්න පිරිසක්‌නේ. ඒ හැකියාව මනස දියුණුකරන්න යෙදෙව්වොත්?

එහෙම වුණොත් අපිට කාලතරණ යන්ත්‍ර  ඕනේ වෙන එකක් නැහැ. මොකද අපිට මනසින් කාලතරණය කරන්න පුළුවන් වේවි. එතකොට විද්‍යාවෙන් විසදුම් සොයන ගොඩක් දේවල්වලට විසදුම් ලැබෙන්න පුළුවන්.

ඒත් ගැටලුව වෙන්නේ භෞතික දේවල් පස්සේ දුවන මිනිස්සුන්ට මනසේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අධ්‍යාත්මික දියුණුවක් ගැන හිතන්නවත් වෙලාවක් තියේවිද? කියන තැන.

ඒ නිසයි තාමත් මිනිස්සු අධ්‍යාත්මික දියුණුව අතින් දශමයක්වත් ඉදිරියට ගිහින් නැත්තේ. මොකද මිනිස්සුන්ට ඒ අරමුණට තමන්ව මෙහෙයවන්නේ නැති නිසා.

Sunday, September 29, 2019

තැනට සුදුසු ඇදුම

මුලින්ම කියන්න හදන්නේ අතීත කතාවක්.

ගොඩක් කාලෙකට කලින් අපේ රටේ කාන්තාවන්ගේ ඇදුමක් තමයි චීත්ත රෙද්ද සහ හැට්ටය. ඒ කාලේ කාන්තාවන් ගෙදරින් එලියට යනකොට රෙද්දට සහ හැට්ටයට අමතරව පොඩි තුවායක් කර වැහෙන්න දාගන්නවා. ඇත්තටම ඒකට හේතුව තමයි පිට පිරිමි කෙනෙක් තමන්ගේ කර දිහා බලලා හැගීමක් ඇති කර ගත්තොත් තමන්ට ඒකෙන් පවක් සිදුවේවි කියන බය වගේම තමන්ට ඒකෙන් අනවශ්‍ය කරදරයක් වේවි කියන බය.

ඉතින් හිතන්න ඔවුන්ගේ ඇදුම් ඇදීම කොච්චර අවස්ථානුකූලයි වගේම බුද්ධිමත්ද කියලා.

දැන්  බලමු වර්තමාන කතාවක්.

අද කාලේ කාන්තාවකගෙන් අහලා බලන්න ඇයි ඔයා කලිසම් අදින්නේ? ඇයි ඔයා අත් දිගට අදින්නේ? ඇයි ඔයා ගවුම් විතරක් අදින්නේ? කියලා.  බහුතරයක් උත්තර වෙන්නේ 'මේක තමයි මේ දවස්‌වල ෆැෂන් එක. අනේ මගේ බෝයි ෆ්රෙන්ඩ් කැමති එහෙම අදිනවට.' වගේ දේවල්.

එතකොට එතන ඉස්සර වගේ සාධාරණ බුද්ධිමත් හේතුවක් තියෙනවද?

අපි ඇදුම් තෝරගන්න ගන්න ඕනේ ඒක විලාසිතාවක් නිසාද? එහෙම නැත්නම් කාගේ හරි හිත සතුටු කරන්නද? ඒ දෙකම නිසා නෙවෙයි නම් තැනට සුදුසු විදියට තමන්ට ගැළපෙන විදියටද?

අන්තිමට තවත් දෙයක් කියන්න ඕනේ. ගොඩක් වැස්ස දවසක ඉස්කෝලේ යනකොට සුදු ගවුම හොදටම තෙමුණු ගැහැණු ලමයෙක් දන්නවා, තමන් ඒකෙන් කොච්චර අපහසුතාවට පත් වෙනවාද කියලා. ඉතින් ඒ අත්දැකීමෙන් පස්සේ අපි පාඩමක් ඉගෙන ගන්නවා වැස්ස දවස්‌වල සුදු පැහැයට හුරු ඇදුම් ඇදලා පාරේ නොයන්න වගේම සුදු ගවුම වෙනස් කරන්න බැරි නිසා වැස්ස අඩු වෙනකම් හරි ඉදලා පාරේ යන්න. එහෙම නැත්නම් වෙන ආවරණයක් උඩින් ඇදගන්න.

ඇත්තටම එහෙම අත්දැකීමක් ලබන්න කලින්ම ඒ ගැන හිතලා බලලා ඇදුම් තීරණය කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. මොකද එතකොට ගැහැණු ලමයි ඇදුම් නිසා අපහසුතාවට පත් වෙන අවස්ථා ගොඩක් අඩු වේවි.

එසේ නම් ඇදුම් තමන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්න දෙයක් කර ගන්නවාද? නැත්නම් අනතුරකට අත වනන දෙයක් කර ගන්නවාද? කියලා තමන් බුද්ධිමත්ව  තීරණය කලයුතු දෙයක් නොවේද?

Tuesday, September 24, 2019

මිශ්‍ර පාසලේ පාඩම

මට ඇහිලා තියෙන ගොඩක් සුලබ දෙයක් තමයි, මිශ්‍ර පාසලකට යැව්වොත් ඒක ගැහැණු ලමයෙක්ගේ හැදියාවට හොද නැහැ (ලැජ්ජා බය නැති වෙන්න හේතුවක්)  කියන දේ.

මේ ලිපිය ලියන්නේ ඒ මතය සාධාරණීකරණය කරන්න නම් නෙවෙයි. ඒත් එහෙම හිතන අය නොදකින පැත්තක් ගැන තමයි මේ කියන්න යන්නේ. 

පාසල් අධ්‍යාපනය හමාර කරලා උසස් අධ්‍යාපනයට හරි විවිධ පාඨමාලා සඳහා අද කාලේ ලමයි යොමුවෙනවා. ඒ වගේ තැනකට ගියාම සමහර ගැහැණු ලමයි ඉක්මනින් පිරිමි ලමයි එක්ක සමීප වෙනවා. සමහර ඒ වගේ ගැහැණු ලමයින්ට එහෙම පිරිමි ලමයෙක් ලගින් ආශ්‍රය කරන්න ලැබෙන එක ආඩම්බර වෙන්නත් හේතුවක්. මම දන්න ගොඩක් ඒ වගේ ලමයි බාලිකා විද්‍යාලවල ඉගෙනුම ලැබූ අය.

ඒ හේතුව නිසාම ඔවුන්ට පිරිමි ලමයි ඉදිරියේ හැසිරෙන විදිය ගැන පොඩි අවබෝධයක්වත් නැහැ. අඩුම තරමින් ඔවුන් ඉදිරියේ ඇදුම සකස් කර ගෙන වාඩි වෙන්න ඕනේ කොහොමද කියලාවත් අවබෝධයක් නැහැ. ඒ නිසා අවස්ථාවාදි පිරිමි ලමුන් බොහෝවිට ඔවුන්ව රැවටීමට ලක් කරන  අවස්ථා බොහෝමයි.

ඒත් මිශ්‍ර පාසලකට ගියපු ගැහැණු දරුවෙක්ට පිරිමි ලමයි ආශ්‍රය කරන අත්දැකීම කුඩා කාලයේදීම ලැබෙනවා. ඒ නිසා ඔවුන්ට යම් දැනුමක් පිරිමි ලමයි සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා එහෙම ගැහැණු ලමයින් පිරිමි ඉදිරියේ වාඩිවෙන්න ඕනේ විදියවත් අඩුම තරමින් දන්නවා.
හැබැයි ඒ දේ තීරණය වෙන්නේ තමන් කුඩා කාලයේ ගතිපු අත්දැකීම් නුවණැතිව පාවිච්චි කරන්න ඒ ගැහැණු ලමයින්ට අවබෝධයක් තියෙනවා නම් විතරයි.

ඒ වගේම ටියුෂන් පන්ති නිසා බාලිකා විද්‍යාලවල ලමයින්ටත් පිරිමි ලමයි ආශ්‍රය කරන්න ලැබෙනවා කියලා කෙනෙක් තර්ක කරනවා නම් කියන්න තියෙන්නේ මේ ලිපිය තුළින් අදහස් කරන්නේ පාසලක විනය තුල ලබා ගන්න අත්දැකීම් ගැන පමණයි කියලා තමයි.

මේක කොහෙත්ම බාලිකා විද්‍යාල ගැන විවේචනයක් නම් නෙවෙයි. මිශ්‍ර පාසලකට යන ගැහැණු ලමයින්ට ඒකෙන් ලබා ගන්න අත්දැකීම් හොද විදියට යොදා ගැනීමට හැකි වීම පිළිබඳව සටහනක් විතරයි.
මොකද  මම හිතන විදියට අද වගේ අවස්ථාවාදීන් බහුල සමාජයක මොන වගේ පාසලක ඉගෙනුම ලැබුවත් ගැහැණු ලමයෙක් තමන්ගේ හැසිරීම ගැන අවබෝධයකින් කටයුතු කරන එක ඇයගේ වගකීමක්.

Saturday, September 21, 2019

උසස් අධ්‍යාපනය තුළින් අනන්‍යතාව නැතිකර ගැනීම

උසස් අධ්‍යාපනය හදාරන වයසට පැමිණි ඕනෙම තරුණයෙක් හෝ තරුණියක් ඒ වනවිටත් කතාබහ කරන විදියෙන් අදින පළදින විදියෙන් විතරක් නෙවෙයි ඉගෙන ගන්න විදියෙන් පවා යම්තාක් දුරකට අනන්‍යතාවයක් ගොඩනගාගෙන අවසන්.

ඉතින් එතනින් එහාට කරන්න ඕනේ ඒ අනන්‍යතාවය ධනාත්මක පැත්තට වර්ධනය කරගන්න එක නේද?

ඒත් ඇත්තටම ඒක වෙන්නේ එහෙමද?

මුලින්ම නවකවදය කියන උප සංස්කෘතික චාරිත්‍රයේ එන dress code නමින් හඳුන්වන උපචාරිත්‍රය නිසා වගේම ඒක අවසන් වුණාම අනෙක් අය කරන විලාසිතා අනුකරණය කිරීම නිසා තරුණ ලමයි තමන්ගේ ඇදුම් පැළදුම් තුළින් ගොඩනගාගත් අනන්‍යතාවය නැති කර ගන්නවා. ඇත්තටම ඒ පරිසරය විලාසිතා බහුල තැනක් වෙන්නේ හැමෝම තරුණ වයසේ සිටින අය නිසයි.

ඊට පස්සේ උසස් අධ්‍යාපන ආයතන ඇතුලේ තියෙන උප සංස්කෘතික වාග් මාලාව නිසා තමන්ගේ ප්‍රදේශයට වගේම තමන්ට ආවේණික වුණ කතා විලාසය වෙනස් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි උසස් අධ්‍යාපන ආයතනයක් තුල විවිධ ප්‍රදේශවලින් පැමිණි ලමයිනේ ඉන්නේ. ඉතින් නාගරික ලමුන් සමග ගැටීමේදි ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණි ලමුන්ට ඔවුන්ගේ කතා විලාසය ගැන හීන මානයක් ඇති වීම නිසාත් මේ දේ සිදුවෙනවා. එතනින් එහාට භාෂාමය අනන්‍යතාවයත් අවසන් වෙනවා.

අවසන් වශයෙන් ඕනෙම ලමයෙක්ට තමන්ට ආවේණික වුණ ඉගෙනුම් ක්‍රමයක් තියෙනවා. මොකද ඔවුන් තරුණ වයසේ දැනුම් තේරුම් ඇති ලමුන් නිසා. ඒත් කුප්පි දැමීම කියන උප සංස්කෘතික චාරිත්‍රය පිලිගැනීම ඇතුලේ එකී අනන්‍යතාවයත් අවසන් වෙනවා. ඒ වගේම තමන්ගේ වැඩේට වඩා අනුන්ගේ වැඩ කටයුතු ගැන විශ්වාස කරලා senior note සම්ප්‍රදාය අනුගමනය කිරීමත් මේකට තවත් හේතුවක්.

ඉතින් මේ සියල්ල දෙස බලන විට ඇත්තටම සිදුවන්නේ තරුණ පරපුර එතෙක් තමන් විසින් ගොඩනගා ගත් අනන්‍යතාවයත් උසස් අධ්‍යාපනය හේතුවෙන් විනාශ කර ගැනීමක් නොවේද?

බැදියාව

මේ කියන්න යන්නේ මොළයට ටිකක් දුර හදවතට සමීප කතාවක්. ජීවිතේදි ඕනෙම කෙනෙකුට මුලින්ම බැදීමක් ඇති වෙන්නේ තමන්ගේ පවුලේ අය එක්ක. ඒක ඇති වෙන්නේ ලේ බැදීමක් විදියට. හැබැයි මේ ලිපිය ලියන්නේ ඒ වගේ බැදීමක් ගැන නම් නෙවෙයි.

අපිට ජීවිතේ සමහර අවස්ථාවලදී සමහර අය එක්ක හිතවත්කම් ඇති වෙනවා. ඒ වගේ අය අතරින් අපි කියන දේවල්වලට අඩුම තරමින් ඇහුම්කන් දෙන අය අපේ යාලුවෝ වෙනවා. ඒ අතරිනුත් අපි කියන දේ ගැන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා අපිට විශේෂ කෙනෙක් වෙනවා.

ඊට පස්සේ එහෙම කෙනෙක් කරන කියන දේවල්වලින් අපිට විශ්වාසයක් ඇති වෙනවා නම් අපි එයාට ගෞරව කරන්න පටන් ගන්නවා. එතනින් එහාට  තමයි ඒ බැදීම ශක්තිමත් වෙන්න පටන් ගන්නේ.

එහෙම බැදීම් තියෙනවා ඇත්තටම ඒවා සහෝදර බැදීමක් වෙන්නෙත් නැහැ. යාලුකමක් විතරක් වෙන්නෙත් නැහැ. මොකද එහෙම බැදීම් හරිම විවෘත ඒවා. රහස් නැහැ. කතා කරන දේවල්වලට සීමා නැහැ.

එහෙම බැදීමකදී අනිත් කෙනා කියන දේවල්වලට ගරු කරන්න ඕනේ. ඇත්තටම එයා අපිට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් නම් වැ‍රැද්දක් පෙන්නලා දුන්නම ඒක නිහතමානීව පිළිඅරගෙන හදාගන්න ඕනේ.
මොකද එහෙම බැදීමක විශ්වාසය පළුදු වුනොත් ඒක මොන දේ කරලවත් හදන්න බැහැ.

ගොඩක් වෙලාවට එහෙම බැදීමක් ජීවිතේට ලැබෙන්නේ එකපාරයි. මොකද මේ ලෝකේ කිසිම දෙයක් සමාන නැති නිසා. ඒ නිසා එහෙම බැදීමකදී අවංක වෙන්න ඕනේ. ඒ බැදීම නැති වුණ වෙන බැදීමක් වෙනුවෙන් තියාගන්න ආදේශකයක් නොවෙන්න ඕනේ. කොච්චර කාලයක් කතා නොකර හිටියත් ඒ බැදීමට දීපු තැන වෙන කෙනෙකුට නොදෙන්න තරම් ඒ බැදීම අවංක නම් ඒ වගේ බැදීමක් රැකගන්න. මොකද ඒ වගේ බැදීමක් ජීවිතේට ලොකු ආශිර්වාදයක්.

වචනෙන් මොනවා කිව්වත් ක්‍රියාවෙන් පෙන්නන්නේ උඩින් කියලා තියෙන දේවල් නම් ඒක තමයි 'විශ්වාසනීය අන්‍යෝන්‍ය බැදියාව' කියන්නේ.

අවාසනාවකට අද කාලේ හැමෝම තමන්ගේ වාසියට වැඩ කරන නිසා එහෙම බැදීම් හරිම දුර්ලභ දෙයක් වෙලා.

Friday, September 20, 2019

අමතර සහායක ඉගෙනුම

මගේ වචනෙන් 'අමතර සහායක ඉගෙනුම' කියලා කිව්වට ගොඩක් අය මේකට කියන්නේ 'ටියුෂන් පන්ති' කියලා. මේ ලිපිය ලියන්න හේතුව වුනේ මෑතකදී මට අත්දකින්නට ලැබුණු දෙයක්.

මුලින්ම කියන්නම් මොකක්ද මට අත්දකින්න ලැබුණේ කියලා. දවසක් 7 වසරේ ගැහැණු දරුවෙක් එනවා මගෙන් අනුපාත ගණන් වගයක් අහගන්න. මම මුලින්ම ඇහුවේ ඉස්කෝලේ මේ පාඩම කලාද? කියලා. පිලිතුර වුණේ ඔව්. ඊලගට මම ඇහුවේ ටියුෂන් පන්තියේත් මේ පාඩම කලාද? ඒකට පිලිතුර වුණෙත් ඔව්. දෙපාරක් එකම පාඩම ඉගෙන ගෙනත් තේරිලා නැති නිසාම විතරක් නෙවෙයි එහෙම ඉගෙන ගෙන තිබුණෙත් වෘත්තීමය ගුරුවරුන්ගෙන් නිසා මට තේරුම් ගන්න ඕනේ වුණා මොකක්ද මේ තේරෙන්නේ නෑ කියන්නේ කියලා. ඉතින් මම ඊලගට පාඩම කියලා දීලා ගණනක් දුන්නම එයා මම කියලා දීපු පියවර ටිකම පිටපත් කර කර ගණන නිවැරදිව හැදුවා. ඊලගට මම තව ගණනක් දීලා කිව්වා දැන් පාඩම තේරෙන නිසා පියවර නොබලා ගණන හදන්න කියලා. ඒත් ඒ පාර එයාට ගණන හදන්න බැරි වුණා. ඉතින් මම තේරුම් ගත්තා ඒ දරුවට තිබුණු ගැටලුව.

එයා පාඩම කියලා දෙන කෙනා දෙන ක්‍රමය (පියවරයන්) පිලිවෙලට මතක තියාගන්න අවධානය යොමු කරනවා විතරයි. කොහොමද එහෙම වෙන්නේ කියන තාර්කික පැතිකඩට අවධානය යොමු කරන්නේ නැහැ. මොකද දරුවාගේ අවසාන ඉලක්කය වාර අවසාන විභාගය පමණයි. විභාගයේදී පියවර ටික පිලිවෙලට ලිව්වේ නැත්තම් ලකුණු ලැබෙන්නේ නැති වීම තමයි ඒකට හේතුව. ජීවිතයේ කෙදිනක හෝ ඒ පාඩම වැදගත් වේවි කියන අවබෝධය දරුවාට නැහැ.

එතකොට කොහොමද 'අමතර සහායක ඉගෙනුම' (ටියුෂන්) මේකට සම්බන්ධ වෙන්නේ? ගොඩක් අය කරනවා වගේ ටියුෂන් විවේචනය කරන්න නම් නෙවෙයි හදන්නේ.

අපි හැමෝම දන්නවා පාසල් ගුරුවරුන්ට පෙළපොත් සමග නොබිඳෙන සම්බන්ධයක් තියෙනවා කියලා. ඔවුන් කරන්නේ පෙලපොත ඉගැන්වීම පමණයි. (ඇත්තටම මට ඔවුන්ව විවේචනය කිරීමට මෙතනදි අවශ්‍ය නැහැ. මොකද ඒක ඔවුන්ගේ විතරක් නෙවෙයි සමස්ත පාසල් රටාවේම ගැටලුවක්නේ.)

ඉතින් මේ කාලය තුල දරුවන්ගේ තාර්කික චින්තනය ගැන ගොඩක් කතා කරනවනේ. දරුවෙක් අමතර ඉගෙනුමකට යොමු වෙන්නේ අවබෝධය සඳහා අමතර සහායක් අරමුණු කරගෙන නම් ඔවුන්ගේ තාර්කික චින්තනය වර්ධනය කරන්නට සහාය වීමටත් ඒ අමතර සහායක ගුරුවරුන්ට හැකියාවක් තියෙනවා. මොකද ඔවුන් පෙලපොත කිරීමට බැඳී නැහැ. අනික දැන් දරුවන් පාසල් ගුරුවරුන්ට වඩා අමතර සහායක ඉගෙනුම් ගුරුවරුන්ට සමීපයි. එතකොට ඔවුන්ට දරුවන්ගේ ගැටලු හදුනා ගැනීමත් පහසුයි.

නමුත් මෙතනදි අදාල ගුරුවරයා මුදල් පසුපස හඹා යන්නෙක් නොවී වගකීම් සහගත චින්තනයක් සහිත පුද්ගලයෙක් විය යුතුයි. නමුත් අද සිටින බහුතරයක් අමතර සහායක ඉගෙනුම් ගුරුවරුන් පාසල් ක්‍රමයම අනුගමනය කරන නිසා ඔවුන්ට සිදුකළ හැකි විශාල සේවයක් මගහැරී තිබෙන බවයි පෙනෙන්නේ.